කුඩා කණ්ඩායම් සඳහා බයිබල් පාඩම්
යාඥාවේ පරමාර්ථය!
යාඥාව නොහොත් දෙවියන්ට කන්නලව් කිරීම යන මේ ආත්මික ක්‍රියාව ක්‍රිස්තියානි ඇදහිලිවන්තයන්ට අලුත් මාතෘකාවක් නොවුණත්, ඒ ආත්මික ක්‍රියාව අප අතින් සිදුවන ආකාරය දෙස සැලකිල්ලෙන් බලනා විටදී පෙනෙන්නේ එකේ අනෙක් පැත්ත බව පැහැදිලිවම පෙනෙයි.
යාඥා කිරීම නොහොත් දෙවියන්ට කන්නලව් කිරීම යන මේ ආත්මික ක්‍රියාව තරම් විවිධාකාරයෙන් අප අතර ක්‍රියාවට නැගෙන වෙනත් "ආත්මික ක්‍රියාවක්" තවත් නොමැති තරමට එය විවිධාකාරයෙන් වෙනස්වී සිදුවීම රහසක් නොවෙයි. දෙවියන්වහන්සේ වෙතට සම්බන්ධ විය හැකි මාර්ගය ලෙසින් පෙනීසිටින යාඥාව යන මේ ආත්මික ක්‍රියාව යේසුස් වහන්සේ ජීවත්ව සිටි ඒ කාලයේ සිටි මිනිසුන් පවා වෙනස් කරගෙන කිරීමට පුරුදුවී සිටිය බවත් පෙනෙන්නේ, යේසුස් වහන්සේ ඒ ගැන තම ගෝලයන්ට පෙන්වාදෙන අවස්තාවක් ශුභාරංචි පොත්වලින් දැකීමට හැකිවීමයි.
එකල සිටි ආගමික නායකයන් කල යාඥාවක් දැක එදා යේසුස් වහන්සේ තම ගෝලයන්ට "නුමුත් නුඹලා එසේ නොකරන්න." යනුවෙන් ඒ ගැන අවවාද කරන්නේ ඒ ආගමික නායකයන් යාඥා කිරීමට පුරුදුවී සිටිය පිළිවෙල වෙනස්වී තිබීමේ හේතුවයි. එය පෙන්වාදෙන්නේත් එකල සිටි ඒ ආගමික නායකයන් පවා දෙවියන්ට යාඥා කිරීම යන මේ "ආත්මික ක්‍රියාව" එහි පරම අරමුණෙන් වෙනස් කරගෙන කිරීමට පුරුදුවී සිටි කාරණයයි.
නිසි අරමුණෙන් පිට (අපගේ කැමැත්තට මුල්තැන දී) අප කිරීමට පුරුදුවී සිටින ඕනෑම ආත්මික ක්‍රියාවකට, (එය ආත්මික ක්‍රියාවක් ලෙසින් අප අතින් සිදුවුවත්) දෙවියන්වහන්සේ ගේ පැත්තෙන් පිළිතුරු ලබා ගැනීමට අපහසු බව යේසුස් වහන්සේ තම ගෝලයන්ට පෙන්වාදෙන්නේ, ආත්මික යැයි සැලකෙන ඕනෑම ක්‍රියාවක් දෙවියන්වහන්සේගේ කැමැත්ත සහ සැලැස්ම යන ඒ රාමුව තුලින් සිදුවිය යුතු බවත් පෙන්වාදීමටයි. එබැවින් ආත්මික අරමුණෙන් අප කරණ ඕනෑම ක්‍රියාවක් දෙවියන්වහන්සේගේ කැමැත්ත යන ඒ අරමුණින් බැහැරව (අපගේ කැමැත්තට පමණක් මුල්තැනදී) සිදුවන්නේ නම්, එවිට එවැනි ක්‍රියා තුලින් දෙවියන්වහන්සේ වෙතින් පිහිට උපකාරය බලාපොරොත්තු විය නොහැකි බව යේසුස් වහන්සේ ඒ උදාහරණය තුලින් පෙන්වාදෙනු පෙනෙයි.
"නුමුත් නුඹලා යාච්ඥා කරන කල්හි," යනුවෙන් එදා ඒ ගැන විශේෂයෙන් පෙන්වාදීමට මුල්වන්නේ, යාඥාව යන ඒ ආත්මික ක්‍රියාව, ලෝකයාගේ අවදානය තමන් වෙතට යොමුකර ගන්නා පිණිසත්, එසේම ඒ තුලින් තමුන් ශුද්ධ වන්තයන් යයි සමාජයේ පෙන්වා ගනු පිණිස පමණක් නොව නුමුත් ලබා ගැනීම හෝ ලබාදීම වෙනුවෙන් එය සමාජය ඉදිරියේ මවාපෑමටත් ඔවුන් පුරුදුවී සිටිය හේතුවයි. ඒ ගැන යේසුස් වහන්සේගේ අවවාදය ශුභාරංචි පොත්වල මෙසේ ලියා දැක්වෙයි.
"එසේ නොව නුමුත් නුඹලා යාච්ඥා කරන කල්හි, නුඹගේ ඇතුල් ගෙට ගොස් දොරවසා, නුඹේ පියවූ දෙවියන්ට යාච්ඥා කරපන්න.
එවිට රහසින් දකින නුඹේ දෙවිපියානෝ නුඹලාට පිළිතුරු දෙන සේක.
තවද නුඹලා යාඥා කරණ කල්හි, අන්‍ය ජාතින් මෙන් නොකරල්ලා.
ඔවුහු තමුන්ගේ වචන රාශිය නිසා අසනු ලබන්නෝ යැයි සිතති.
එබැවින් ඔවුන්ට සමාන නොවෙල්ලා.
මක්නිසාද නුඹලාගේ පියාණන් වහන්සේ ගෙන් යමක් ඉල්ලන්නට පළමුවෙන්
නුඹලාට වුවමනා දේ කුමක්දැයි උන්වහන්සේ දන්නා සේක.
-මතෙව් 6:6
අප ගෙවනා මේ ලෞකික ජීවිතය තාවකාලීක එකක් වුණත්, එතුල සැඟවී තිබෙන අපගේ "ආත්මික පැත්ත" සදාකාලික එකක් බව බයිබලය පෙන්වාදෙයි. එයින් අදහස් කෙරෙන්නේ, අපගේ මේ ජීවිතය ලෞකීක එකක් පමණක් නොව නුමුත් එයට ආත්මික පැත්තක්ද තිබෙන කාරණාවයි. අපගේ ලෞකික ජීවිතයත් සමග සම්බන්ධ වී එන මේ ආත්මික පැත්ත "සදාකාලික" එකක් වන්නේ, එය අපට දෙනු ලැබූ දෙවියන්වහන්සේ සදාකාලික අයෙක් වීමයි. එබැවින් සදාකාලික වූ අපගේ ඒ ආත්මික පැත්ත සුළුකොට, ඒ ගැන නොසළකා හරිමින් අපි අපගේ තාවකාලික වූ මේ ලෞකික ජීවිතය ගැන පමණක් වෙහෙසෙන්නේ නම් එය ඥාණ වන්ත ක්‍රියාවක් නොවෙයි.
මිනිසුන් වන අපි සියලු දෙනාටම අපගේ මේ ආත්මික පැත්ත ගැන යම් ආකාරයක අවබෝධයක් තිබුණත්, එය ගොඩනගා ගැනීමට දරණ උත්සාහයේදී අප මුහුණ දෙන විශාල ගැටළුව වන්නේ, ඒ වෙනුවෙන් අප කිරීමට පුරුදුවී සිටින බොහෝදේ දේව වචනයට අනුව නොව නුමුත් ලෝකයේ ආකාරයට විවිධාකාර වීමේ හේතුවයි. මේ හේතුව ආත්මික පැත්ත ජයගැනීමට බාධා පමුණුවයි.
දේව වචනය ඒ ගැන පෙන්වාදී ඇත්තේ "යාඥාව යන ඒ ආත්මික ක්‍රියාවලිය" තුලින් පමණක් අපට ආත්මයෙන් දෙවියන්වහන්සේගේ ආත්මය සමග සහභාගිකම ගොඩනගා ගතහැකි බවයි.ඒ නුමුත් යේසුස් වහන්සේ ඒ ගැන පවසා සිටින්නේ, ඒ උත්සාහය දෙවියන්වහන්සේගේ සැලැස්ම සහ කැමැත්තට අනුව සිදුවන්නේ නම් පමණක් අපට ඒ තුලින් ආශීර්වාදය උරුම කරගත් හැකි කාරණයයි. යේසුස් වහන්සේ එදා ඒ පරිසිවරයන් කිරීමට පුරුදුවී සිටිය යාඥාව උදාහරණයට අරගෙන තම ගෝලයන්ට පෙන්වාදුන් ඒ අවවාදය පවා පෙන්වාදෙන්නේද ඒ ගැනයි.
යාඥාව යන මේ ආත්මික ක්‍රියාව තුලින් අපට දෙවියන්වහන්සේගේ ආත්මයත් සමග සහභාගිකම් පැවැත්වීමට හැකි බව පමණක් නොව නුමුත් ඒ තුලින් අපගේ මේ ලෞකික ජීවිතයත් ආශිර්වදමත් එකක් බවට පෙරලා ගතහැකි බවත් පෙන්වාදෙන ඉගැන්වීම් බොහෝමයක් දේව වචනයේ සඳහන් වෙයි. යාඥා කිරීම යන මේ ක්‍රියාව ලෞකික ක්‍රියාවකටත් වඩා ආත්මික ක්‍රියාවක් වන බැවින් ඒ ආත්මික ක්‍රියාව නිවැරදිව කිරීමට නම් ඒ වෙනුවෙන් අපට දේව වචනයේ සඳහන් එවැනි ඉගැන්වීම් සොයා බැලීමටත් සිදුවෙයි.
ඇදහිලිවන්තයන් හැටියට නිවැරදිව යාඥා කිරීමේ පිළිවෙල දැනගෙන සිටීම අවශ්‍යය වන්නේ, අපගේ හඬ දෙවියන්වහන්සේ වෙතටත් එසේම උන්වහන්සේගේ කැමැත්ත අප විසින් සොයා දැනගැනීමටත් ඇදහිලිවන්තයන් වන අපට ඇති එකම මාර්ගයත් එය පමණක් වන හේතුවයි. එබැවින් වර්තමානයේදී ඇදහිලිවන්තයන්ට දෙවියන්වහන්සේ වෙතට සම්බන්ධ වීමට ඇති ඒ මාර්ගය අවබෝධයෙන් දැන සිටීම පමණක් නොව එය නිවැරදිව කිරීමටත් දැනගෙන සිටීමත් වැදගත් වෙයි. අප සතු අපගේ ආත්මික පැත්ත දෙවියන්වහන්සේට සම්බන්ධවීම තුලින් ශක්තිමත් එකක් සේ ගොඩනගා ගැනීමට හැකි වන්නේ, ඒ ක්‍රියාව නිවැරදිව අප අතින් සිදුවන්නේ නම් පමණි.
අප අතර සිටින බොහෝ ඇදහිලිවන්තයන් "යාඥාව" යන වචනයට පවා වැඩි අවධානයක් නොදී ජිවත් වන්නේ, ජිවිතයට දෙවියන්වහන්සේ ඒ තරම් වැදගත් සේ නොදැකීමයි. . එයට බලපාන අනෙක් හේතුව වන්නේ, (යේසුස් වහන්සේ පෙන්වාදුන් අයුරින්) ඔවුන් කරන යාඥාවලට පිළිතුරු දෙවියන්වහන්සේ ගෙන් ඔවුන්ට නොලැබීමේ හේතුවත් වීමයි. අපගේ ආත්මික ජීවිතය ජයගැනීම වෙනුවෙන් පමණක් නොව නුමුත් දෙවියන්වහන්සේ ගෙන් පිළිතුරු ලබාගත හැකි "රහස" පවා එහි යේසුස් වහන්සේ විසින් දේව වචනයේ එළිදරව් කරදී තිබුණත්, බොහෝවිට අප කිරීමට පුරුදුවී සිටින්නේ අප වෙනුවෙන් වෙන අයෙකුට කියා යාඥා කරවා ගැනීමට උනන්දුවිමයි.
නුමුත් යාඥාව ඇදහිලිවන්තයාට වැදගත් වන්නේ, යාඥාව අපව දෙවියන්වහන්සේගේ ආත්මයත් සමග සම්බන්ධ කරනවන හේතුවයි. එබැවින් යාඥාව නොමැති තැන දෙවියන්වහන්සේ සමග ඇති සම්බන්ධ කමත් දුර්වල තත්වයේ පවතියි. ඇදහිලි වන්තයන් හැටියට අපි "දෙවියන්වහන්සේත් සමග සහභාගිකම් පැවැත්විය හැකි ඒ ආත්මික ව්‍යායාමය සුළුකර සිතන්නේ නම්, එවිට දෙවියන්වහන්සේ සමග සහභාගිකම් පවත්වා ගැනීමට ඇති එකම මාර්ගයත් අප විසින්ම අප අහුරා ගන්නා බවත් අපි මෙහිදී තේරුම් ගත යුතු වන්නේ, මොලොව ජිවත්වන අපට දෙවියන් සමග සම්බන්ධ වීමට හැකි වෙනත් මාර්ගයක් තවත් නොවෙන නිසායි.
යාඥා කිරීම බොහෝවිට ඉල්ලා සිටීමේ මාර්ගය යන ඒ අවබෝධයෙන් එය අප අතින් සිදුවුවත්, සැබවින්ම යාඥාව යනු දෙවියන්වහන්සේ නමස්කාර කිරීමේ මාර්ගය බව දේව වචනය පවසයි. පැසසුම් ගී ගයමින් දෙවියන් හමුවේ තම දෑත් ඔසවන බවත් පවසමින් ගීතිකා ගයනා කරමින් දාවිත් රජතුමා කලේද යාඥාව තුලින් දෙවියන් නමස්කාර කිරීමයි. එවැනි ගීතිකා මුල්වූ යාඥාවන් තුල දෙවියන්වහන්සේගේ හඬ ඔහු අසා දැනගන්නා ආකාරයත් ගීතාවලිය පොත්වලින් පැහැදිලිව මතුවෙයි. එබැවින් නමස්කාරය කිරීමට ඇති එකම මාර්ගය වන යාඥාව යන මේ ආත්මික ක්‍රියාව ඇදහිලිවන්තයාට අවශ්‍යය වන්නේ, එය (යාඥාව ජීවිතය) අපගේ එදිනෙදා ජිවිතයේ සැලැස්ම, දෙවියන්වහන්සේගේ සැලැස්මට අනුව වෙනස් කරන සන්ධිස්ථානය වන නිසායි.
අප විසින් දෙවියන්වහන්සේගෙන් ඉල්ලන්නාවූ දේවල් මොනවාද? මෙන්ම අපගේ එදිනෙදා ජීවිතයට සැබවින්ම අවශ්‍යය වන්නේ මොනවාද යනුවෙන් දෙවියන්වහන්සේ අප ගැන දකින්නේ කුමක්ද? යන මේ කියමන් දෙකේ වෙනස අවබෝධකර ගැනීමේ හැකියාව අපට "යාඥා ජීවිතය වර්ධණය කරගැනීම තුලින්" පමණක් තුලනය කරගැනීමට හැකිවෙයි.
එබැවින් ඒ අවබෝධය ලබා ගැනීමට නම් පළමුවෙන්ම දිනපතා ආත්මයෙන් දෙවියන්වහන්සේ වෙතට සම්බන්ධ වී ජිවත්වන මිනිසුන් විය යුතුයි. එවිට පමණක් යාඥාව තුලින් ගලා එන ආශිර්වාදය දෙවියන්වහන්සේ ගෙන් ලබා ගැනීමට හැකිවෙයි. මේ සම්බන්ධය පහදා දීමට යේසුස් වහන්සේ යොදාගත් උදාහරණය වන්නේ; මිදිවැලට සම්බන්ධ අත්තකට දෙවියන්වහන්සේට සම්බන්ධ ඇදහිලිවන්තයා සමානකර පෙන්වීමයි. මිදී වැලට සම්බන්ධ අත්තට පමණක් ඵලදැරීම කල හැකි වනවා වාගේම යේසුස් වහන්සේ මෙහිදී කියා සිටින්නේ, අපිත් ආත්මයෙන් දෙවියන්වහන්සේගේ ආත්මය සමග බැඳී ජීවත්වන්නේ නම් පමණක් දෙවියන්වහන්සේ ගෙන් ඵල ලබාගත හැකියි යන ඒ යථාර්තයයි. අත්තට අවශ්‍යය ශාරය මිදි වැලෙන් ලැබෙන්නේ පළමුවෙන්ම අත්ත මිදි වැලට සම්බන්ධ වී තිබෙන්නේ නම් පමණක් යන ඒ උදාහරණයේ සැබෑ අර්ථය තේරුම්ගැනීම ඇදහිලිවන්තයාට වැදගත් වෙයි. යේසුස් වහන්සේ තම ගෝලයන්ට පෙන්වාදෙන ආත්මික පැත්තේ හරය එයයි.
නිවැරදි යාඥාව තුලින් මතුවන ප්‍රතිඵලය
1.අපගේ පුද්ගලික යාච්ඥාවේ එකම පරමාර්ථය දෙවියන්වහන්සේ නමස්කාර කිරීමත් ඒ තුලින් අප වෙනුවෙන් ඇති උන්වහන්සේගේ කැමැත්ත සොයා දැනගැනීමත් වන විට, දෙවියන්වහන්සේගේ කැමැත්තට පළමු තැන දීමටත් අප පෙළඹෙයි. එවිට ඉල්ලා සිටීම හෝ ලබාගැනීම යන අරමුණ වෙනුවට දෙවියන් නමස්කාර කිරීම යන ඒ අරමුණ අපගේ යාඥාවේ එකම පරමාර්ථය බවටත් පත්වෙයි.
2. මේ වර්ධනය අපගේ පුද්ගලික උවමනාවන් සහ අභියෝගයන් ඉදිරියේ අප දක්වන්නාවූ ප්‍රතිචාරයද වෙනස් අතකට පෙරලයි. "දෙවියන්වහන්සේ බලවත් බැවින් උන්වහන්සේ මා ගැන බලාගනියි" යන ඒ විශ්වාසය අප තුළ ගොඩනැගීමට එය බලපායි. . එහි ප්‍රතිඵලය වන්නේ, එවිට අපගේ එදිනෙදා ජිවිතයට දෙවියන්වහන්සේ ගේ සැපයීම ප්‍රමාණවත් යන සත්‍යයතාවය තේරුම් ගෙන ඒ තුලින් ජීවිතය දෙස බැලීමට ඉගෙන ගැනීමයි .
3.යාඥාවේ පරම අරමුණ දෙවියන්වහන්සේව නමස්කාර කිරීමටත් උන්වහන්සේගේ කැමැත්ත සොයා දැනගැනීමටත් මුල්වන විට; එය උන්වහන්සේගේ කැමැත්ත අපට එළිදරව් කරයි. උන්වහන්සේගේ කැමැත්ත දැනගැනීමට හැකිවීම අපව ඒ කැමැත්තට කීකරුව ජීවත්වීමටත් මඟ පෙන්වයි. එය දෙවියන්ව්හන්සේත් අපත් අතර ඇති ආත්මික සම්බන්ධය ගොඩනගයි.
4.අවසානයේ එය අපගේ කැමැත්තට ඉහලින් උන්වහන්සේගේ කැමැත්ත සෙවීමට සහ කිරීමට ආශාව අප තුල ජනිත කරයි. ඒ තුළින් අප උන්වහන්සේ ගේ හඬ ඇසීමට ඉගෙණ ගන්නවා පමණක් නොව නුමුත් උන්වහන්සේව උන්වහන්සේගේ වචනයට අනුව සොයනවිට උන්වහන්සේ අපට සම්බවන බවත් ඉගෙන ගනියි.